Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල වෙනස්කම් ගැන සරළව තේරුම් ගනිමු

මේ ලිපියන් මම කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න, ඒ වගේම මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජයප්‍රිය මෙහෙයුම් පද්ධති දෙකක් ගැන.

ඒ කියන්නේ Windows vs Linux ගැන. මුලින්ම කියන්න ඕන මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. ඒකට හේතුව තමයි මේ එක එක මෙහෙයුම් පද්ධතිය ගත්තොත් එකින් එකට ආවේණික වාසි සහ අවාසි තියනවා.

මේ මෙහෙයුම් පද්ධති දෙකටම, ඒවාටම ආවේණික වුණු වාසි සහ අවාසි තියන නිසා, වින්ඩෝස් තමා හොඳ, ලිනක්ස් තමා හොඳ කියල පොදුවේ කියන්න අමාරුයි. යම් විශේෂ හේතුවක්, එහෙමත් නැතිනම් අවශ්‍යයතාවයක් මත පදනම් වෙලා තමයි මේක හොඳයි හෝ මේක වැඩක් නෑ කියන තීරණයට අපිට එන්න වෙන්නේ.

ඒ කියන්නේ ගොඩක් වෙලාවට හොඳ නරක තීරණය වෙන්නේ භාවිතා කරන්නාගේ අවශ්‍යතාවන් මත තමයි. මෙන්න මේ ප්‍රධාන කරුණු ටිකක පදනම් කරගෙන අපි කතා කරමු මේ මෙහෙයුම් පද්ධති ගැන.


Linux සහ Windows ගැන කතා කරද්දී මුලින්ම මතක් කරන්න ඕන දෙයක් තමයි, Windows කියලා Operating system එකක්, එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියක් තිබුණත්, Linux කියලා operating system එකක් නැහැ.

ඒ වෙනුවට තියෙන්නේ Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති සමූහයක්. Ubuntu, Fedora, RedHat, BodhiLinux, Arch Linux, Debain, CentOS වගේ විවිධ නම් වලින් අපි නිතරම දකින්නේ මේ Linux කියන මෙහෙයුම් පද්ධති පවුලේ එක එක විදිහේ සාමාජිකයන්.

බොහෝ වෙලාවට මේ වගේ එක මෙහෙයුම් පද්ධතියක් Linux Distribution කියන නමින් බිඳී ආපු, Linux Distro එකක් යනුවෙන් සාමාන්‍යය ව්‍යවහාරයේදී අපට අහන්නට දකින්නට ලැබෙනවා.


Cost & Licensing

ලිනක්ස් සහ වින්ඩෝස් අතර ප්‍රධාන වෙනස්කමක් තමා මේ free vs paid කියන දේ. ලිනක්ස් ගැන කතා කරොත් ලිනක්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුලුවන් OS එකක්. RedHat වගේ මෙහෙයුම් පද්ධති එයාලගෙන් ලැබෙන සේවාවන් වලට හා support එකට මුදලක් අය කරනවා. ඒ හැර ලිනක්ස් OS වලට කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. මුදල් ගෙවීමක් සිදු කර Licence එකක් අරගන්න අවශ්‍ය වෙන්නෙම නෑ.

නමුත් වින්ඩෝස් කියන්නේ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමක් යටතේ ලබා ගන්න ඕන OS එකක්. අපිට මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඊට අදාළ මුදල එම ආයතනයට ගෙවා ඒ වෙනුවෙන් License එකක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

අපේ රටේ ගොඩක් වෙලාවට PC එකක් ගන්නකොටම ඊට අදාල Shop එකෙන්ම Windows දාලා දුන්නත්, බොහෝ වෙලාවට මේ ලබාදෙන Windows copy එක genuine, එහෙමත් නැතිනම් නීත්‍යානුකූල copy එකක් නෙවෙයි. මේ හරහා දැනට පෙනෙන තරමේ හානියක් නැතත්, මතක තියාගන්න ඕන දේ තමයි, මේක ඉතාමත් වැරදි දෙයක් කියන එක.

Licencing ගැන කතා කරොත් ලිනක්ස් එන්නේ GPL (General public license) එක යටතේ. මේක අයිති වෙන්නේ open source license ගණයට. මේකෙදි ප්‍රධාන වශයෙන් source code එක නිදහස් නිසා ඕන කෙනෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්න, බෙදාහරින්න අවස්ථාව දීල තියනවා.

නමුත් වින්ඩෝස් වලට, EULA (End User License Agreement), එහෙමත් නැතිනම් පරිශීලකයා හට බළපැවැත්වෙන වෙනමම Licensing ක්‍රමයක් තියනවා. මේ license අයිති වෙන්නේ proprietary ගණයට.

Open Source vs Closed Source

Open source
Open source කියන්නේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්න භාවිතා කරපු source code එක ඕන කෙනෙකුට ලබා ගන්න පුලුවන් විදිහට නොමිලේම නිකුත් කරල තියනවා කියන අදහසයි.

මේවගේ තියන වාසිය තමයි, පරිගණක ක්‍රමලේඛණ භාෂා ගැන දැනුමක් තියන ඕන කෙනෙකුට මෙහෙයුම් පද්ධතිය ලියන්න පාවිච්චි කරපු source code එකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියල බලාගන්න පුලුවන්.

ගෙදර භාවිතා කරන OS එකෙන් ඔබ්බට ගිහින්, අපි හිතුවොත් යම්කිසි ආයතනයකට විශේෂ අවශ්‍යයතාවයක් නිසා තමන් භාවිතා කරන OS එකට අලුත් පහසුකමක් එකතු කරන්න ඕන වුණා කියලා. අන්න ඒ වගේ වෙලාවට Software development ගැන දන්න කෙනෙක් ලවා මේ OS එක තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න වගේම ඒ විදිහට වෙනස්කම් කරපු OS එක නැවත බෙදාහරින්නත් අවස්ථාව තිබෙනවා.

අන්න ඒ විදිහට තමයි ඔය අපි දකින Ubuntu, RedHat, Fedora වගේ එක එක විදිහේ Linux distros අපි අතරට එන්නේ. අදාල ආයතන වලින් තමන්ගේ වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව නැවත බෙදාහරින සංස්කරණයන් තමයි මේ අපි භාවිතා කරන්නේ.

හැම දේකම වාසි වගේම අවාසිත් තියනවා, Source code එක open නිසා ඒක වැඩ කරන විදිහ ඕන කෙනෙකුට බළන්න පුළුවන්. ඉතින් හරි විදිහේ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැත්තම්, මේක ඉතාමත් භයානක තත්ත්වයකට හැරෙන්නත් ඉඩ තියෙනවා.

Closed source (proprietary)
Closed source operating systems කියන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය ලියන්න භාවිතා කරපු source code එක මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පිරිස, එහෙමත් නැතිනම් end users ලා හට ලබා නොදෙන මෙහෙයුම් පද්ධති වලටයි

මේව ලියන්න භාවිතා කරපු source code එක තියෙන්නේ මෙහෙයුම් පද්ධතියේ නිර්මාණකරුවන් ලඟ විතරයි. ඉතිං මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය විදිහට වැඩ කරාට ඇත්තමට source code එකේ මොනාද තියෙන්නේ කියන එක නිර්මාණකරුවන්ට හැර අනිත් කිසිම කෙනෙකුට දැනගන්න බෑ.

ඒ වගේම වෙනස්කමක් කරන්න, තියන ගැටලුවක් නිරාකරණය කරන්න පුලුවන් වෙන්නෙත් නිර්මාණකරුටම පමණයි. මේක තමා closed source මෙහෙයුම් පද්ධතිවල තියන අවාසිය.


ඔය ටික කියෙව්වම Open source සහ Closed source ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ කොටස් දෙකෙන් ලිනක්ස් අයිති වෙන්නේ Open source කියන ගණයටයි. Open source වල තියන හැම වාසියක්ම ලිනක්ස් යුසර්ස්ලට හිමි වෙනවා. ඒ නිසා තමා ලිනක්ස් ගොඩක් වෙලාවට community projects විදිහට තියෙන්නේ.

වැදගත්:
Free & open source කියන වචන තුන ගොඩක් වෙලාවට අපිට එකට දකින්න ලැබුණත්, මෙහි free කියන එකෙන් අදහස් වෙන්නේ, නොමිලයේ කියන අදහස නම් නෙවෙයි. මෙය වෙනස් කරන්නට/බෙදා හරින්නට අවශ්‍යය නිදහස තිබෙන බව තමයි මේකෙන් අදහස් වෙන්නේ.

ඒ වගේම වින්ඩෝස් අයිති වෙන්නේ Closed source කියන ගණයට. ඒ නිසා ඉතිං closed source OS වල තියන ගතිලක්ෂණ තමා වින්ඩෝස් වල තියෙන්නේ.

Flavors and Customization

ඉස්සෙල්ලාම ලිනක්ස් ගැන කතා කලොත් සිය ගණනක් distributions තියනවා. මේව යූසර්ස්ලගේ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන තමා නිර්මාණයවෙලා තියෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් RedHat කියන්නේ enterprise මට්ටමේ ලිනක්ස් distribution එකක්.

Ubuntu ගත්තොත් ප්‍රධාන වශයෙන් desktop computer යූසර්ස්ල අරමුණු කරගෙන නිර්මාණය කරන distribution එකක්. Ubuntu server edition එකකුත් තියනව. ඒකත් ගොඩක් ජනප්‍රියයි. Kali linux ගත්තොත් පරිගනක ආරක්ෂකය (security) මූලික කරගත්ත distribution එකක්. Linux mint ගත්තොත් වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වෙන අලුත් ලින්ක්ස් යූසර්ලට ගැලපෙන විදිහට, ගොඩක් user friendly විදිහට තමා නිර්මාණය කරල තියෙන්නේ.

ඔය උදාහරණ දෙක තුනක් විතරයි. තව ගොඩාක් අරමුණු වෙනුවෙන් නිර්මානය කරපු ලිනක්ස් distributions ඕන තරම් තියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මොකද්ද හොඳම distribution එක කියන එක.

ඒක ඉතිං තීරණය වෙන්නේ මොකද්ද ඔයාගෙ අවශ්‍යතාව, ඔයාගෙ දැනුම මට්ටම කොහොමද කියන එක මත තමා.

ලිනක්ස් Customization ගැන කතා කරොත් අපිට ඇති තරම් Themes, icon pack, windows decoration, pannel, color schemes වගේම desktop environment එක, ඒ කියන්නේ ඔයා Android Phone එකක Launcher එක මාරු කරනවා වගේ Linux Desktop Environment එක සම්පූර්ණයෙන්ම මාරු කරගන්න පුළුවන් වගේ, OS එකේ හැම දෙයක්ම වගේ අපිට් ඕන විදිහට customize කරගන්න පුලුවන්.

තව දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය install කරන විට අපිට ඕන විදිහට, අපි කැමති desktop environment, display managers, boot loaders, software එක්ක අපිට ඕන විදිහට install කරගන්නත් අවස්ථාව සමහර distribution වල දීල තියනවා. ඒ නැත්තත් install කරාට පස්සෙ මෙහෙයුම් පද්ධතිය එකත් එක්ක එන software අයින් කරල අපිට ඕන software install කරගන්න සම්පූණ නිදහස දීල තියනවා.


වින්ඩෝස් ගැන කතා කරන විට මේ තත්ත්වය ගොඩක් වෙනස්. එයාල කලින්ම configure කරල තියන විදිහට OS එක පාවිච්චි කරන්න විතරයි මෙහිදී ගොඩක් දුරට අවස්ථාව දීල තියෙන්නේ. ඔයා iOS භාවිතා කරනවා නම් ඔයාට කවදාවත් අලුත් Launcher එකක් දාගන්න බෑ වගේ තමයි මේ Windows වල තිබෙන තත්ත්වයත්.

මෙහෙයුම් පද්ධතිය එක්ක එන Pre-installed software අයින් අරන්න අවස්ථාව නෑ. ඉස්සරනම් customization අන්තිමයි. හැබැයි දැන් දැන් නම් මූලික දේවල්, ඒ කියන්නේ theme, icon pack වගේ දේවල් වෙනස් කරන්න අවස්ථාව තියෙනවා.

හැබැයි ඉතිං ගොඩක් වෙලාවට ඒවා official ක්‍රම නම් නෙවෙයි. Rainmeter වගේ 3rd party මෘදුකාංග හරහා තමයි මේ වෙනස්කම් සිදු කරගන්න වෙන්නේ.

ඒ අතින් වින්ඩෝස් customization ටිකක් මදි කියල හිතෙනව. Users ට ඕන විදිහට මෙහෙයුම් පද්ධතිය එක configure කරගන්න හෝ තෝරගන්න අවස්ථාවක් දීල තිබ්බනම් ගොඩක් වටිනව.

Updates

වින්ඩෝස් වල අප්ඩේට් ගැනනම් හැමෝටම අමුතුවෙන් පැහැදිලි කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් හෙනම වාතයක්. අප්ඩේට් එනව එනව ඉවරෙකුත් නෑ. අනික අප්ඩේට් ඇප්ලයි වෙනකම් පැය ගණන් බලන් ඉන්නත් ඕන. වැදගත් වැඩක් අතරමැද එහෙම හිටියොත් සොරි තමා.

ලිනක්ස් අප්ඩේට් නම් එහෙම කරදරයක් නෑ. යූසර්ට බලෙන් අප්ඩේට් දෙන්නෙත් නෑ, අනික ලිනක්ස්වල අප්ඩේට් ඇප්ලයි වෙන්න රීබූට් කරන්න ඕනෙත් නෑ. කර්නල් මාරු කරන්න උනොත් විතරක් රීබූට් කරන්න ඕන. නැත්තම් ඒ ඕනෙත් නෑ. කොටින්ම කිව්වොත් අප්ඩේට් කරාම රීස්ටාර්ට් කරන්න අත්‍යවශ්‍යම නෑ.

Security

Security පැත්ත ගැන කතා කරොත් ලින්ක්ස් වල වින්ඩෝස් වලට වඩා Security වැඩියි. ඒ කියන්නේ වයිරස්, මැල්වෙයා වගේ ප්‍රශ්නවලින් තොරයි. තොරයි කිව්වට ඉතිං දැන් දැන් නම් මැල්වෙයා එහෙම සමහර distribution වල repository වල තිබිල අහුවෙලා තියෙනවා.

හැබැයි ඒව ලොකු ප්‍රශ්න වෙන ඒවා නම් නෙවෙයි. බිට්කොයින් මයිනින් වෙනුවෙන් නිර්මාණය කරපු ඒවා වාගේ දේවල් තමයි දැනට අහු වෙලා තියෙන්නේ.

වයිරස්, මැල්වෙයා ලිනක්ස්වලට නැති (අඩු) වෙන්න හේතුවක් තමා Linux භාවිතා කරන යූසර්ස්ල ප්‍රමාණය අඩු වීම. මොකද ඉතිං වයිරස්, මැල්වෙයා ලියන කෙනෙක් උත්සහ කරන්නෙ තමන් ලියන වයිරස්, මැල්වෙයා එකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්නනේ. ඒකට ඉතිං target කරන්න ඕන වැඩිම user base එකක් තියන OS එකක් කියන එක ඕන කෙනෙකුට තේරෙනවා.

Linux based OS එකක සාමාන්‍යය වැඩ කටයුතු වලින් 99% වගේ වැඩ කරන්නෙ root permission නැතිව නිසා malicious software එකකින් Linux system එකට හානියක් වෙන්න තියන අවස්ථාව ඉතාමත් අඩුයි.

Software Installation (Centralized vs. Non Centralized)

ඔයාල දන්නවනේ වින්ඩෝස් වල software එකක් install කරන විදිහ. අදාල සයිට් එකට ගිහිල්ලා, exe file එක අරන්, ඒක open කරල install කරන්න ඕන. හැබැයි ලිනක්ස්වල එහෙම ඕන නෑ.

මොකද ලිනක්ස් වල package management system එකකින් තමා software manage කරන්නේ. ඒ කියන්නේ අපිට ලිනක්ස්වල software එකක් install කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ terminal එක open කරල පොඩි command එකක් run කරන්න විතරයි.

ඊට පස්සේ software එක තියන තැනකින් හොයලා, ඒක download කරලා, install කරන තැනට එනකම් ඉතුරු වැඩ ඔක්කොම package management system එක බලාගන්නවා.

හැබැයි ඉතිං package repository එකේ, එහෙමත් නැතිනම් මේ package manager එකට ඇතුලත් වෙලා නැති app එකක් නම්, ඒකේ source code එක අරන් compile කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ source code එක අරගෙන වෙන කෙනෙක් compile කරපු file එකක් අරගෙන Windows වල වගේම install කරගැනීමේ පහසුකමත් සමහර destro වල ලබා දීලා තියනවා.

ඊට අමතරව flatpakappimagesnap වගේ package management system වර්ග ගොඩක් තියනවා. ඕන නම් ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්. Appimage කියන්නේ ලිනක්ස්වල පාවිච්චි කරන්න් පුලුවන් portable software වර්ගයක්.

Software install කරන්න විතරක් නෙවෙයි ඒව update කරන්න, remove කරන්න මේ ඔක්කොම package management system එක පාවිච් කරලා ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේ package management system, distro එකෙන් distro එකට වෙනස් වෙනවා. 

උදා

Performance

Performance ගැන කතා කරොත් ලින්ක්ස් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියන්න පුලුවන්. ලිනක්ස්වල තේරීම් ගොඩක් තියන නිසා තමන්ගෙ computer එකේ specification වලට ගැලපෙන distribution එකක් තෝරගන්න අවස්ථාව තියනවා.

ඒ වගේම ස්වභාවයෙන්ම Linux කියන්නේ Hardware එකක් ඉතාමත් සමීප සම්බන්ධතාවයක් පවත්වන OS එකක්. ඉතින් පරණ හාඩ්වෙයා එක්ක උනත් හොඳට වැඩ කරන්න පුලුවන් විදිහට නිර්මාණය කරපු distribution තියනවා.

ඔයා Linux distribution එකක් භාවිතා කරලා තියනවා නම් දැකලා ඇති, operating system එකටම අන්තර්ගත වන generic device drivers හරහා වුණත් අදාල hardware එක්ක ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගන්න Linux වලට හැකියාව තිබෙනවා.

Desktop environment වුණත් ගොඩක් තියන නිසා තමන්ගේ computer එකට හොඳටම ගැලපෙන එක තෝරගන්න පුලුවන්. අනික තමා distribution එකත් එක්ක එන software වලටම හිරවෙලා ඉන්න ඕන නැති නිසා, default එන software තමන්ට ගැලපෙන්නෙ නැත්තම් ඒව අයින් කරලා තමන්ට ගැලපෙන software වලට මාරු වෙන්නත් පුලුවන් නිසා ඒකත් වාසියක්.

වින්ඩෝස් වල තමන්ගේ කාර්යයන් අනුව home, pro, enterprise වගේ සුලු තේරීම් කිහිපයක් තිබ්බත් performance වල ලොකු වෙනසක් නෑ.

Support

Support එක ගැන කතා කරොත් දෙකේම ලොකු වෙනසක් නෑ. දෙකටම හොඳ support එකක් තියනවා. දෙකටම උදව් ගන්න වෙබ් සයිට්, ෆෝරම් ඕන තරම් තියනවා. ලිනක්ස්වලට විශේෂයෙන් හොඳම community support එකක් තියනවා. මොකද ඉතින් ලිනක්ස් පද්ධතිය නිර්මාණය වෙන්නෙම community එක මත කියන එක දැන් ඔයා දන්නවා නේ.

කොච්චර support එකක් තියනවද කියන එක තීරණය වෙන්නේ ඔයා තෝරගන්න distribution එක මත තමා. ඔයා Ubuntu වගේ distro එකක් තෝර ගත්තොත් හොඳම community support එකක් තියනවා.

Usability

අනිත් හැම දේකින්ම Linux ඉස්සරහින් ඉන්නවා වගේ පෙනුණත්, මෙන්න මේ ගැන කතා කරන වෙලාවට නම් Windows මේ හැම Linux distro එකකටම වඩා ඉස්සරහින් ඉන්නවා කියන එක ගැන කතා දෙකක් නැහැ.

Linux කොච්චර හොඳ වුණත් ලොව පුරා තිබෙන සෑම පරිගණක 10කින් 9කම Windows Operating system එකක් දුවන්න ප්‍රධානතම හේතුව තමයි මේ Windows මෙහෙයුම් පද්ධතියේ තිබෙන usability features. පුලුවන් තරම් user friendly වෙන්න තමා වින්ඩෝස් නිර්මාණය කරල තියෙන්නේ.

කොහොම වුණත් මීට වසර කිහිපයකට පෙර Linux වල තිබුණු තත්ත්වයට වඩා දැන් ගොඩක් හොඳ දියුණුවක් තියනවා. Ubuntu, Linux mint, Elementary OS වගේ distribution ලොකු දැනුමක් නැති සාමාන්‍ය පරිශීලකයෙකුට වුණත් පාවිච්චි කරන්න පුලුවන් තත්වයේ තියනවා.

පොදුවේ ගත්තොත් ලිනක්ස් පාවිච්ච් කරන්න වින්ඩෝස් වලට වඩා දැනුමක් අවශ්‍ය වෙනවා. වැඩේ තියෙන්නෙ මුලින්ම ලිනක්ස් වලට එනකොට ගැලපෙන user friendly distribution එකක් තෝරගන්න එක තමා. එහෙම නැතුව ටිකක් advanced distribution එකක් තෝර ගත්තොත් මුලින්ම ලිනක්ස් භාවිතය එපා වෙයි.

ඒ වගේම වින්ඩෝස් වල තියන ලොකු වාසියක් තමා Adobe වගේ proprietary software නිර්මාණය කරන අය ඒ වෙනුවෙන් දක්වන සහයෝගය. Photography, video editing වගේ ක්ෂේත්‍රයක වැඩ කරන කෙනෙකුට නම් වින්ඩෝස් තමා. ලිනක්ස්වල මේවට alternatives තිබ්බට ඒවා එච්චර සාර්ථක නෑ.

වින්ඩෝස් වල තව වාසියක් තමා gaming. ලිනක්ස්වලත් ගේම ගහන්න බෑ කියනවා නෙවෙයි, පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් steam වගේ platform තියන නිසා ලිනක්ස්වලත් හොඳට ගේම් ගහන්න පුලුවන්. ඒත් ඉතින් තවමත් gaming වලට හොඳම මෙහෙයුම් පද්ධතිය තමා වින්ඩෝස්.

ලිනක්ස් වල තිබෙන command line එක, එහෙමත් නැතිනම් Terminal එක, ලිනක්ස්වල එක සුවිශේෂීම දෙයක්. ලිනක්ස්වල command line එකෙන් කරන්න පුලුවන් දේවල් අසීමිතයි. වින්ඩෝස් වලත් command line එකක් තිබ්බට ඒක ලිනක්ස්වල තරම් powerful නෑ.

ලිනක්ස් කියන්නේ ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන තනි solution එකක්. Desktop, servers, low end computers, older computers වගේ ඕනම අවශ්‍යතාවයකට ගැලපෙනවා. ලෝකයේ ලොකුම ටෙක් කම්පැනි (Google, Facebook, IBM, Oracle) සම්පූර්ණයෙන්ම වගේ භාවිතා කරන්නේ Linux පාදක කරගත් servers වලින්.


අන්තිමට කියන්නේ මේ මෙහෙයුම් පද්ධති දෙක වෙනස්ම අන්ත දෙකක තියන මෙහෙයුම් පද්ධති දෙකක්. මම මේකෙදි ලිනක්ස් හොඳද, වින්ඩෝස් හොඳද කියල කියන්න යන්නෙ නෑ. ඒක තමන්ගේ වුවමනා එපාකම් අනුව ගතයුතු තීරණයක්.

මොකද කලින් කිව්ව වගේම මේ දෙකේම එකින් එකට අවේණික හොඳ/නරක තියනවා. හරි දේ තමා තමන්ට හරියන මෙහෙයුම් පද්ධතිය තෝර ගන්න එක. මෙතනදි මම කතා කලේ ප්‍රධාන කරුණු ටිකක් විතරයි.

මේ කියපු දේවල් වලින් ඔයාට Linux සහ Windows අතර වෙනස යම් තරමක් දුරට හරි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s